Saturday 7 January 2012

දීප්ති ගේ අවුරුදු සුභ පැතුම ගැන...


බලාපොරොත්තු වූ පරිදිම, දීප්ති කුමාර ගුණරත්න මහතාට මෙම බ්ලොග් අඩවිය පිළිබඳව 'ඇඟට දැනී' තිබේ. ඔහුට කොතරම් රිදී ඇතිද යනු, ඔහුගේ 'පක්ෂයේ' නිල වෙබ් අඩවිය සිය අලුත් අවුරුදු සුභ පැතුම තුල ඉලක්ක කර ඇත්තේ මෙම බ්ලොග් අඩවියය්! දීප්ති කුමාර ගුණරත්න මහතාට ඉංග්‍රීසි බසින් කතා කිරීමට හෝ ලිවීමට හෝ නොහැකි බව පවසනා විට ඔහු කෝපාවිෂ්ඨ වන බව අප දැනගෙන සිටියෙමු. ඒ නිසා මේ ප්‍රතිචාරය පිළිබඳව අප පුදුම වන්නේ නැත.නමුත් අප පුදුම වන්නේ මෙම ප්‍රතිචාරයේ ගුණාත්මක තත්වයටය්. දීප්ති ගේ සටන් ශෛලිය තුල මිනිසුන් විවේචනය කිරීමට සහ තමන්ගේ විවේචකයන්ට පිළිතුරු දීමට නිසඟ දක්ෂතාවයක් තිබේ.එය අපද පිලි ගනිමු. නමුත් අවාසනාවකට මෙන්, මෙම ප්‍රතිචාරය මගින් පෙනී යන්නේ, ඔහුගේ මෙම දක්ෂතාවයද ඔහුගෙන් ගිලිහෙමින් ඇති බවය්. 

සමස්තයක් ලෙස ගත විට දීප්ති ගේ තර්කය වන්නේ, ජිජැක් ද අනුන්ගේ අදහස් කොපි කරන බව සහ, එනිසාම මෙය ඔහුත් කලාට කම් නැති බවය්. අපූරුය! 

පළමුවෙන් කිව යුත්තේ, අප ජිජැක් ගේ පුද්ගලික ලේකම්වරුන් නොවන හෙයින්, ඔහු අනුන්ගේ අදහස් කොපි කරනවාද නැතිද යන්න සම්බන්දයෙන් අපට ගැටළුවක්  නොමැති බවය්. නමුත් අප කියවා ඇති පරිද්දෙන් නම්, එලෙසෙ ජිජැක් අනුන්ගේ අදහස්, තමන්ගේ අදහස් මෙන් කියනා තැන් හමු වී නොමැත. ඇරත්, ජිජැක් ගනුදෙනු කරනා බටහිර ඇකඩමියාව තුල ඔහුව කියවන්නේ සමන් පුෂ්පකුමාර හෝ අනූප නන්දුල වැනි 'එහෙය්යන්' නොව, ලොව සුපතල දාර්ශනිකයන්ය. ඔහු සම්බදයෙන් බොහෝ චෝදනා, විවේචන සහ නොඑකඟතාවයන් තිබුනද, ඔහු අනුන්ගේ අදහස්, තමන්ගේ මෙන් කියනවා කියා චෝදනාවක් අප මෙතෙක් අසා නොමැති වෙය්. මේ සඳහා ඔවුන් පැහැදිලි නිදර්ශන සපයන්නේනම් අපට මෙය සලකා බැලිය හැකි වෙය්. නමුත් මේ සඳහා ඔවුන් විසින් මෙවර සපයා ඇති නිදර්ශන දුටු විටනම්, බඩ අල්ලාගෙන, බිම පෙරලි පෙරලි සිනහ වීම හැර කරන්නට දෙයක් නොමැති වෙය්. 

පළමුවෙන්, යථ යන සංකල්පය ජිජැක් උපුටා ගන්නේ ලකාන්ගෙන් කියා නොදන්නා කෙනෙක් මෙලොව සිටිනාවාය කියා සිතා ගැනීමට අපහසු වෙය්. ජිජැක් තමන්ව හඳුන්වා ගන්නෙම 'ලකානියානුවෙක්' ලෙසය් (නිදසුනක් ලෙස ඔහු පිළිබඳව ඇති වාර්තා චිත්‍රපටයේදී, ඔහු අසන්නියකගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, තමා 'නාම පුවරුව අතින් එල්ලාගෙන සිටිනා ලකානියානුවෙක්' ‘[I’m a card-carrying Lacanian’]බව පවසය්). මෙම තතු යටතේදී, ඔහු එම සංකල්පය යොදන සාම තැනකදීම එය ලකාන්ගෙන් උපුටා ගත්තා කියා සඳහන් කිරීම කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකෙරේ. අපට ඉතා පැහැදිලිව දීප්ති කුමාර ගුණරත්න මහතාගෙන් අසන්නට ඇත්තේ, ජිජැක් කොතැනකදී හෝ මෙම යථ නම් සංකල්පය තමන්ගේ නිර්මාණයක් කියා පෙන්වීමට උත්සාහ කර තිබේද යන්නය්. කරුණා කර එවැන්නක් තිබේනම් අපට ඒ සඳහා මූලාශ්‍ර දෙන්න. එසේ නොමැතිව රට්ටු හිනස්සන්නේ නැතිව, තමන් ජිජැක් ගෙන් කොපි කල බව නිහතමානීව පිලිගන්න.

දෙවෙනුව, ආත්මය යන සංකල්පය ජිජැක් විසින් ඩෙකාට්ස්ගෙන් කොපි කර, ඒ බව සඳහන් නොකරන බව දීප්ති කුමාර ගුණරත්න මහතා චෝදනා කරය්! නියමය්! මේවා හොඳ වෙලාට සිංහලෙන් ලියවෙන්නේ.බැරි වෙලාවත් මේවා ජිජැක් කියෙව්වොත් එහෙම ඔහු සිනහ නතර කර ගැනීමට නොහැකිව, හුස්ම හිරවී මිය යනවා නොඅනුමානය. ජිජැක් ආත්මය පිළිබඳව දීර්ඝව පැහැදිලි කරනා The Ticklish Subject පොතේ ආරම්භක වාක්‍යය මෙයය්: A spectre is haunting Western academia, the spectre of the Cartesian subject.(Zizek, S., (1999) “The Ticklish Subject – The Absent Centre of Political Ontology, Verso, London, p 1)  මේ අනුව ඔහු පෙනී සිටින්නේ 'කාටිසියානු ආත්මය' (the Cartesian subject) වෙනුවෙන් බව පවසන විට 'කාටිසියානු' යන්නෙහි අරුත කුමක්ද? එනම් එය ඩෙකාට්ස්ගේ ආත්මය යන සංකල්පය බවය්. නැවතත්, කිව යුත්තේ මෙය 'ආත්මය' යන වදන යෙදෙනා සෑම තැනකම අමුතුවෙන් කිව යුතු නොවේ යන්නය. 

අවසාන වශයෙන්, දෘෂ්ටිවාදය විචාරය යන සංකල්පය ජිජැක් විසින් මාක්ස්ගෙන් කොපි කර ඇති බවට දීප්ති චෝදනා කරය්! මෙය දීප්ති  මොකක් හරි නට් ලූස් වී ලියූවක් විය යුතුය. ජිජැක් මෙහිදී තමාට මාක්ස් සඳහා ඇති ණයගැති බව කිසි ලෙසකින් සඟවන්නේ නොමැතිය. නිදර්ශනයක් ලෙස, ඔහුගේ ප්‍රථම ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථය වන The Sublime Object of Ideology හී ඔහු දෘෂ්ටිවාදය පිලිබඳ සාකච්චාව ආරම්භ කරන්නේ පහත අයුරිනි: “The most elementary definition of ideology is probably the well-known phrase from Marx’s Capital: ‘Sie wissen das nicht, aber sie tun es’ – ‘they do not know it, but they are doing it’”. (Zizek, S., “The Sublime Object of Ideology”, Verso, London, 1989, p 28)
දීප්ති කුමාර ගුණරත්න මහතා තර්ක කරන්නේ මෙම වචන තුන ලියවෙනා වාක්‍යක් වාක්‍යක් ගානේම මේවා ලකාන්ගෙන්, ඩෙකාට්ස්ගෙන් සහ මාක්ස්ගෙන් උපුටා ගත බව ලිවිය යුතු බවය්.මෙය අතිශය විකාර සහගත ඉල්ලීමකි.එවැන්නක් ශාස්ත්‍රාලීය සම්ප්‍රදාය තුල නොමැති වෙය්. එහිදී අපේක්ෂා කරන්නේ අනුන්ගේ අදහස්, තමන්ගේ මෙන් ප්‍රකාශ නොකිරීමය්. දීප්ති කුමාර ගුණරත්න මහතා ඉතා දැනුවත්ව මෙලෙස ජිජැක් ගේ අදහස් හොරකම් කර ඇති බව අප දැනටමත් පෙන්වා දී තිබේ. ඔහුගේ තවත් හොරකම් අප ඉදිරියේදීත් හෙළි කරමු.

අනෙක් අතට, අපි තර්කයක් ලෙස මොහොතකට පිළිගනිමු ජිජැක් යනුද, දීප්ති වැනිම, අදහස් හොරෙක් බව. මින් අදහස් වන්නේ එමනිසා එය අපටද කල හැකි බවද? මෙම තර්කය හරියටම සමාන වන්නේ, ඇමරිකාව සහ යුරෝපය ඇෆ්ගනිස්තානයේ යුධ අපරාද කර ඇති නිසා, අපටද එසේ කල හැකිය කියා තර්ක කරනා සිංහල ජාතිවාදීන්ටය. අහෝ! දීප්ති කුමාර ගුණරත්න මහතා වැටී ඇති වලක තරම. ඔබට සුභ අලුත් අවුරුද්දක්!